ගීතමය කවුළුවකින් හදවතේ ලියවෙන වංශ කතාවට

Font Size » Large | Small


බින්තැන්නෙන් පටන්ගත්ත ජෝතිපාල  ගඟින් එගොඩ කළ ‘තොටියා’ කවුද?

ලක්‍ෂමන් පියසේන

‘මහවැලි නදියේ අසබඩ සැදි ඒ මහියංගන තූපේ’ යනුවෙන් වසන්තා සන්දනායක ගයන ඒ අපූරු ගීතය දශක හයකට පමණ පසුව, අදත් ජනප‍්‍රියත්වයේ අඩුවක් වී නැත. 1953 වර්ෂයේ ග‍්‍රෑමපෝන් තැටියකට ගායනා කළ මේ ගීතය ප‍්‍රකට හින්දි ගීතයක තනුවට අනුව නිර්මාණය වූවකි. හින්දි ගීතය ඇතුළත් වූයේ 1952 විජය බාට් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘බව්ජි බවුරා’ චිත‍්‍රපටයටයි. ‘බව්ජි බවුරා’ සේම එහි ගීත ද ඉතා කෙටිකලකින්ම ඉහළ ජනප‍්‍රියත්වයක් අත් කර ගත් අතර චිත‍්‍රපටයේ සංගීතය සම්මානනීය භාරත සංගීතඥ නවුෂාඞ් ගේ වීමද ඊට හේතු වූවාට සැක නැත. මෙම චිත‍්‍රපටයේ සංගීත නිර්මාණය වෙනුවෙන් 1954 දී නවුෂාඞ් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් ද පිදුම් ලබීය. චිත‍්‍රපටයේ එන ගීත අතරින් සම්ෂාඞ් බෙගම් හා පිරිස ගයන ගීතයක තනුවට ගැලපෙන ලෙස ‘මහවැලි නදියේ….’ සිංහල පදමාලාව ආනන්ද සරත් විමලවීර විසින් ලියන ලදී. සිංහල ගීතයේ සංගීතය එම්. වින්සන්ට් පෙරේරා ගෙනි.


වසන්තා සන්දනායක එවකට ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් ව සිටියේ ඉන්දියාවේ භාත්ඛණ්ඩ සරසවියේ අධිපතිව සිටි ශ‍්‍රිමත් රතනජංකර් සූරීන් මෙහි පැමිණ පැවත්වූ පර්යේෂණයට ද මුහුණ දෙමින්ය. ඇය සතු වූ ඒ ඉහළම ගායන හැකියාවට අමතරව ගායන හැකියාව සහජයේනම ඇති අංකුර ගායක ගායිකාවන් ගීත ලොවට ඇද ගැනීමට ද ඇය අලෝබ වූවාය. ඇය ‘මහවැලි නදියේ….’ ගීතයේ අත්වැල් ගායනයට තෝරා ගත් අයගෙන්ම ඒ බව පැහැදිළි වෙයි. මේ ගීතය සඳහා අත්වැල් ගායනයට සම්බන්ධ කර ගත් අය අතරින් තිදෙනෙක්ම පසු කාලීනව ජනප‍්‍රිය ගායක ගායිකාවන් බවට පත් විය. පුෂ්පරාණි ආරියරත්න හා සුජාතා අත්තනායක එයින් දෙදෙනෙකි. එච්. ආර්. ජෝතිපාල යනු එතැනින් තම ගායන දිවිය ආරම්භ කළ අනෙක් ගායකයා ය. මේ අත්වැල් ගායනයට ජෝතිපාල සම්බන්ධ වන විට ඔහු ගුවන්විදුලියේ සරල ගී පර්යේෂණයෙන් සමත්ව නොසිටි බව පැවසේ. ඒ නිසාම ඔහුට ගුවන්විදුලියේ ගී ගායනයට ද අවසර නොතිබිණි. එහෙත් වසන්තා සන්දනායක එවකට ඒ ශ්‍රේණියේ ගායිකාවක වීම නිසා ඇගේ විශේෂ ඉල්ලීම හේතුවෙන් මේ ගීතය සඳහා ජෝතිපාල සම්බන්ධ කර ගන්නට ඇයට ගුවන්විදුලි බලධාරීන්ගෙන් අවසරය ලැබී ඇත. ජෝතිපාලගේ ගායනය එදා එලෙස ඇරඹෙන්නේ එම ගීතයේ එකම එක වචනයකින් වීමද මේ කතාවට අපූර්වත්වයක් එක්කරයි. ඇතැම් විටෙක එය කෙනෙකුට විශ්වාස කරන්නට බැරි තරමේ පුවතක් ද විය හැකිය.
සිංහල ගීතය පිළිබඳ වංශකතාවේ විශාලම පරිච්ෙඡ්දය ජෝතිපාල වීම හා එය තව වසර සියයකටවත් වෙනස් වේ යැයි සිතිය හැකි ලකුණු නොමැත වීම සමඟ සසඳන විට, ජෝතිපාලගේ ඒ ආරම්භය ගැන කෙනෙකු පුදුමයට පත්වීම ස්වභාවිකය. මෙතෙක් වැඩිම ගීත සංඛ්‍යාවක් ගයා ඇති ගායකයා ජෝතිපාල වීමද එහෙම පුදුමයකට අනුබල දෙයි. 1987 ජූලි 7 වැනිදා එනම් පනස් එක්වැනි වියේදී ජෝතිපාල මියයන විට ඔහු විසින් ගායානා කළ ගීත සංඛ්‍යාව හයදහස ඉක්මවූ බව පැවසේ. ඒ සංඛ්‍යාව ඉක්මවිය හැකි ගායකයෙක් හෝ ගායිකාවක් තව වසර සියයකටවත් බිහි වේ යැයි සිතන්නට හැකිද? කෙසේ වෙතත් ජෝතිපලගේ පටිගත කළ ගායන හ`ඩ මුළින්ම ශ‍්‍රාවකයාට ගුවන්විදුලියෙන් අසන්නට ලැබෙන්නේ ‘මහවැලි නදියේ අසබඩ සැදි ඒ’ ගීතයේ ‘තොටියෝ’ යන වචනයෙනි.
ගීතයට හිමි ඒ ඉතිහාසයට අමතරව ලක්දිව ඉතිහාස කතාවට අදාළ වැදගත් පරිච්ෙඡ්දයක් ද මෙම ගීතයෙන් ඉස්මතු කරයි. මහවැලි නදිය හෙවත් මහා වාලූකා නදිය, බින්තැන්න හෙවත් මහියංගනය, බුදුරදුන්ගේ කේශධාතු හා මහියංගන ස්තූපය, හුදී ජනයාට සරණ වන සුමන සමන් දෙවියන් ආදී වශයෙන් විජයාවගමනයට පෙර ලක්දිව ඉතිහාසයේ ඉතිහාස සඥා රැුසක් මෙම ගීතයෙන් ඉදිරිපත් කෙරේ. ගීතයේ පද පෙළ විමසීමෙන් ඒ ගැන හොඳින් වටහා ගත හැකිය.

”මහවැලි නදියේ අසබඩ සැදි ඒ
මහියංගන තූපේ වඳිනට අපි යනවා

තොටියෝ …..

ගෙඟහි අද දිය හෝ ඒවි උතුරා නදියේ
යන්නේ කෝමද එගොඩට මේ ගංගාවේ
පෙනෙන ඔරුවේ ගීතේ
ඇසෙන තෙක්මානේ හෝ ගංගාවේ
යනවා දනෝ බැති ගීත ගයා
වඳිති දෙවියෝ සෑය හෝ
මේ සෑ රාජා කේශදා හිමිගේ
මේ හිඳිනා සේම සෑ රාජානෝ

මහවැලි නදියේ….

තොටියෝ…

සාදුකාරේ මේ බින්තැන්නේ
ශාන්ත සිරි ගෙන පෑවානේ අද
පාපී වූ දුක් ජීවිතේ බර
නිවනා ලෙසින් වඳිමු මෙසේ
සරණයි සැමටම දෙවියනි ඔබගේ
මේ කඳුරට හිමිවූ
යදිමු අපි සැම දෙවියන් යදිමු
අසල බින්තැන්නේ
මේ ආවෙමු වඳිනට බින්තැන්නේ

මහවැලි නදියේ ……..

තොටියෝ….”

මිහිකතගේ අංගනය යන අරුත දෙන බින්තැන්න, ලක් ඉතිහාසයේ සංධිස්ථානයක් වන්නේ බුදුරදුන්ගේ පළමු ලංකා ගමන සිදු වන්නේ ද එතැනට නිසා ය. ඒ වන විට එතැන ජාත්‍යන්තරයේ ප‍්‍රසිද්ධ වෙළඳ පොළක් වූ බවට ජනප‍්‍රවාදයෙන් හෝ හදවතේ ලියවෙන වංශ කතාවෙන් ඉඟි ලැබේ. වර්තමාන තිරිකුණාමල වරාය එකල ලෝ පතල වෙළෙඳ වරායකි. එතැන සිට මහියංගනය හෙවත් බින්තැන්නට එන ලෙහෙසි මඟ මහවැලි නදිය විය. යක්‍ෂ, නාග හා දේව යන එවකට ලංකාදීපයේ ජීවත් වූ පිරිස අතරින් යක්‍ෂයන් දමනය සඳහා බුදුරදුන් බින්තැන්නට ආ බව මහා වංශය සඳහන් කරයි.
ඉතිහාස කතාවකින් ඉස්මතු කරන එක් වැදගත් ගුණාංගයක් වන්නේ මුල අමතක නොකිරීමයි. එය ජාතියක ශිෂ්ඨ සම්පන්නභාවය ද දකින්නට හැකි කැඩපතකි. විජයාවගමනයට වඩා බුදුරදුන්ගේ ලංකාවගමනය, අනුරාධපුරයට වඩා සිරීපාදෙ, ලක්දිව මුල්ම බෞද්ධයා ලෙස සැලකිය හැකි සුමන සමන් ආදී චරිත හෝ සිද්ධි හෝ ස්ථාන ගැන මතකය, බැතිය, පරපුරෙන් පරපුරට මේ ගලා එන්නේ එකී ශිෂ්ඨබව නිසා ය. ඇතැම් විටක මේ සිදුවීම් හා ස්ථාන ගැන ලිඛිත ඉතිහාසයේ සඳහන් වන්නේ ඉතාම සුලූ වශයෙනි. එහෙත් ජන වහරේ ඊට ඇති ඉඩ අපමණය. ඉතිහාස පාඩමෙන් පෙළ පොතින් විජයාවගමනය ගැන කොතරම් කට පාඩම් කෙරෙව්වත් ඊට වඩා ලක් වැසියෝ සිරීපාදෙ ගැන දනිති. මහියංගනයට බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ යක්‍ෂයන් දමනයට මද?
සමකාලීන භාරතයේ බමුණු අධිපතිවාදය බුදුරදුන්ටත් උන්වහන්සේගේ අනුගාමිකයන්ට හා දායකයන්ටත් නිබඳ එල්ලවීම නිසා ද වි¥ඩභගේ කෝපයෙන් තමන්වහන්සේගේ නෑදෑයින් බේරා ගැනීමට බුදුරදුන්ට අවශ්‍ය වූ නිසා ද ඊට අවශ්‍ය ඉඩ විමසන්නට සුදුසුම තැනට හෙවත් ලක්දිවට බුදුරදුන් වැඩමකිරීම, බුදුන්ගේ පළමු ලංකාවගමනය වී යැයි කියවෙන මතයක් ද ඇත. ඒ සඳහා බුදුරදුන්ට ඉඩ පාදා දෙන්නේ සමකාලීනව ප‍්‍රාදේශිය රජකෙනෙකු මෙන්ම ලක්දිව යුව රජෙකු වූ සුමන් සමන් ය. ඒ ගමනේදී බුදුරදුන් සිහිවටනයක් විදියට සුමන සමන් වෙත පිරිනමන කේශ ධාතු තැන්පත් කර තැනූ වෙහෙර මේ ගීතයෙන් කියවෙන මහියංගන ස්තූපයයි. අද සුමන සමන් හුදී ජනයාට පිහිට වෙන දෙවි කෙනෙකි ඒ ගැන මේ ගීතයෙන්ද කියවෙයි. ඇත්තටම ගීතයේ මුඛ්‍යාර්ථය ද එයයි.
ජෝතිපාල තම ගීත චාරිකාව අරඹන්නේ සංකේතාත්මකව ලක්දිව සතු වැදගත්ම බිමකිනි. මේ බිමට මිහිකතගේ අංගනය යන අරුත ලැබීමෙන් ම එතැන ලෝකයට ම වැදගත් තැනක් වූ බව පැහැදිළිය. මේ බිමේ අගය කියවෙන ගීතයක ජෝතිපාල ගයන ‘තොටියෝ’ යන වචනයද සංකේතාත්මකව ගත් කල අරුත් රැුසක් සපයයි. තොටියා යනු එගොඩ කරන්නාය. සියලූ සත්වග සංසාරෙන් එතෙර කරන තොටියා මෙහිදී බුදුරජාණන් වහන්සේ ය. මේ ගීතයේ මුඛ්‍යාර්තය මහියංගන වෙහෙර වැඳ පුදා ගන්නට, ගෙඟන් එතෙර වන්නට යන එන බැතිමතුන් සුමන සමන් දෙවියන්ගෙන් පිහිට පැතීමයි. එදා ජීවමාන සුමන සමන් බුදුරජාණන් වහන්සේගේ නෑදෑයින්ට පිහිට වූ ලෙස දෙවියන් වූ සුමන සමන් ද පොදු මානවයාට පිහිට වෙමින් සිටිනවා විය හැකිය. එනම් හුදී ජනයා කිසියම් අයුරකින් හෝ මේ ජීවිත ගංගාවෙන් එතෙර කරන්නට තොටියෙක් හෙවත් දෙවියෙක් වී ඇති බව මහිංයංගනය වඳින්නට යන බැතිමතුන්ගේ විශ්වාසයයි.
ජෝතිපාලගේ ගීත චාරිකාව පුදුමය දනවන තරමේ දිගදුර එගොඩවීමකට මඟ පෑදූ තොටියා මේ සුමන සමන් ද?

3 Responses to ගීතමය කවුළුවකින් හදවතේ ලියවෙන වංශ කතාවට

  1. Wow, great article.Thanks Again. Awesome.

Leave a Reply to Yoshimi Cancel reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>