රළු ගල් ගති සියපත් පෙති බවට හැරේ

Font Size » Large | Small


ලක්‍ෂමන් පියසේන

ලංකාවේ කීර්තිය දියත පැතිරෙන්නට හේතු වූ සිද්ධි කාරණා අතර, පුරාණයේදී ගලින් නිමැවුණු පිළිම, සඳකඩපහන, ගල් කණු ආදී කලා කෘති මුල් තැනක් ගත්තේය. සමාධි පිළිමය, ගල්විහාරය, අවුකන පිළිමය, බුදුරුවගල හා මාලිගාවිල පිළිම අදී ශෛලමය බුදුපිළිම ඒ සඳහා වූ ජීවමාන සාක්‍ෂි වේ. සමකාලීනව රටේ බලයට පත් රජවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිකෙරුණු මේ ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ අයත් වන්නේ මීට වසර දහසකට පමණ ඈත අතීතයටයි. විශේෂයෙන් යමක් සඳහන් කරනවානම් මහාවංශය ලියවෙන කාලය වන පස්වෙනි සියවසට එපිටදී ය. පස්වෙනි සියවසට පසුව හමුවන්නේ මේ නිර්මාණ සියල්ල ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ ට අයත් දේ බවට කියාපාන එමන්ම එහි ආශ්චර්ය ගැන අඟවන මහා ජේතවනය තරමට උස ‘වචන කඳු’ ය. ක‍්‍රියාව කතාවට පමණක් සීමා කරගෙන ජාතියක් ලෙස එහෙම කල් ගත කළ නිසාදෝ ගෙවුණු දශක ගණනාවක කාලයට ම අර ශෛලමය නිර්මාණ වැනි දේ මේ බිමේ බිහි නොවිණි.
‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ අධිපතිවාදයකට භාවිතා නොවුණු යුගයක එහෙම නිර්මාණ බිහි වුණ බවට හෝ එය අධිපතිවාදයක් ලෙස ගෙන කතාකරමින් සිටි කාලයේ එහෙම නිර්මාණ බිහි නොවුණු බවට හෝ සැසඳීම මෙහි අරමුණ නොවේ.
වසර දහසකට පමණ පසුව ලොව විශාලතම ශෛලමය සමාධි පිළිමය රාජ්‍ය අනුග‍්‍රහයෙන් තොරව, මහජන ආධාරයෙන් ම, මේ බිමේ බිහිවීමේ අපූරු කතන්දරය මෙයින් ඉදිරිපත් කෙරේ.
ඇෆ්ගනිස්තානයේ පිහිටා තිබුණු බාමියන් බුදු පිළිම 2001 මාර්තු මාසයේදී තලේබාන් අන්තවාදීන් විසින් විනාශ කරන ලද සිද්ධිය ඔබට මතකද? මේ ප‍්‍රවෘත්තිය රූපවානියෙන් දකින රම්බොඩගල්ල මොනරගල ප‍්‍රදේශයේ පාසල් ළමුන් පිරිසක් පසු දිනෙක එනම් 2001 මාර්තු 16 දා මොනරගල විහාරයට පැමිණ, එගොඩමුල්ලේ අමරමෝලි නායක හිමියන් බැහැදැක මෙහෙම කතාවක් පවසන්නට වූහ.
”අපිත් බලා හිටිය ඇති. අපි හංදියේ මුස්ලිම් පල්ලිය කඩන්න ඕනෙ. අපි ඒකට ගහන්න යන බව කියන්නයි ආවෙ.”
දඹුලූ ගිහින් තලගොයි මරණ ජාතියේ ‘පැවිදි මුදලාළිලා’ ද බෞද්ධ සංස්කෘතිය උගසට තබා බල තණ්හාව සන්තර්පනය කරන ‘පැවිදි දේශපාලනය’ ද ආදර්ශ පිට ආදර්ශ සපයන්නේ ප‍්‍රචණ්ඩත්වය දෙසට වීම අනුව සලකන කල, තරුණ පරපුර එහෙම යෝජනාවක් පන්සලට ම ගෙන ඒම පුදුමයට කරුණක් නොවේ. එහෙත් අමරමෝලි නායක හිමියන් ළමයින්ගේ ආවේගයට පිලිතුරු දුන්නේ තව තවත් ඒ ආවේගය දළුලන ලෙස නොවේ. වෛර ගින්න මෛත‍්‍රියේ සිසිලසින් නිවී යන ලෙසිනි. සිත් වල පහන් සංවේගය මතුවන විලසිනි.
”ඒ අය බුදුපිළිම කැඩූව කියල ඒ අයගෙ පල්ලි කඩන එක බෞද්ධ කම නෙමෙයි. වෛරයෙන් වෛරය සන්සිඳෙන්නෙ නැහැ කියන පාඩම ඔය ළමයි මේ දහම් පාසලේදිත් ඉගෙන ගෙන ඇතිනෙ? අනුන්ගෙ පල්ලි කඩන එක නෙමෙයි වැඬේ. බාමියන් පිළිමය දැන් අපට නැහැ. මුස්ලිම් පල්ලියක් කැඩුව කියල ඒ පිිළිමය ආයෙ ජීවමාන කරන්නත් බැහැ. අපි ඒ වෙනුවට අළුත් යමක් කරන්න බලමු. ඇයි අපට බැරි අළුත් බුදු පිළිමයක් හදන්න. ඔය තියෙන්නෙ ගලක්. ඔය ළමයින්ට පුළුවන්නෙ මේ ගලේ එහෙම පිළිමයක් නෙලන්න. අනුන්ගෙ පල්ලි කඩන්නෙ නැතිව අපි එහෙම අළුතින් දෙයක් ගොඩ නඟමු.”
විනාශයට විනාශයෙන් පිළිතුරු නොදී සිදු වූ විනාශය අළුත් ගොඩනැඟීමක ආරම්භය බවට පත්කළ හැකිය. ලංකාවේ ඊට ඇති ආසන්න නිදසුන වන්නේ දළදා මාලිගාවේ පඩිපෙළ හා මුරගල් නැවත ගොඩනැගූ ආකාරයයි. ඉපැරිණි කලාකරුවා නූතනයේත් ජීවමාන බව කොටි ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව යළි ගොඩනැගුව ඒ නිමැවුමෙන් පැහැදිළි විණි. එදා අමරමෝලි හිමියන් අර ළමයින් ඉදිරියේ තැබුවේ ද එවැනි ආදර්ශයකි. උන්වහන්සේගේ කතාවෙන් සැනසුණු ළමයින් කණ්ඩායම එතැනින් එදා නික්ම ගියේ අළුත් විදියක තිර අදිටනක් ඇතිවය. ඒ බව නාහිමියන් දැනගන්නේ ඊට ටික දිනකට පසුව අර ළමයින් කණ්ඩායම නැවතත් උන්වහන්සේ මුණගැහෙන්නට පන්සලට ආ විටදී ය. එදා මේ ළමයින් කණ්ඩායම පැමිණියේ හිස් අතින් නොවේ. හාමුදුරුවන් වෙතට පත් කිරීමට රුපියල් 1357 ක මුදලක් ද ඔවුහු එදා රැගෙන ආහ. 2001 මැයි පෝය දින රම්බොඩගල්ල මධ්‍ය මහ විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ දී පැවති ශීල ව්‍යාපාරය අවස්ථාවේදී අර ළමයින් විසින් තම දෙමාපියන්ගෙන් මෙම මුදල එකතු කරන ලදී. එහෙම මුදල් එකතු කිරීමට නිමිත්ත වූයේ මොනරගල පන්සල් බිමේ පිහිටි ගල් බිත්තියේ හෙවත් දැවන්ත කළු ගලේ බුදු පිළිමයක් නෙලීම ය.
”නායක හාමුදුරුවො කියාපු විදියට අපි මේ ගලේ පිළිමයක් හදමු. ඒකට අපි ආධාරත් එකතු කළා. මේන් ඒ මුදල්.”
එදා ළමයින්ගේ ආවේගය නිවන්නට කළ ප‍්‍රකාශය තමන් වහන්සේට අභියෝගයක් ලෙසින් නැවතත් පැමිණ ඇති බව එගොඩමුල්ලේ නාහිමියන්ට පෙනුණේ එවිටයි. දැන් පිළිමයක් නෙලීම ආරම්භ කළ යුතුමය. ඒ සඳහා ඇති මුදල රුපියල් 1357 කි. දැනෙන බිය එළිපිට නොපෙන්වීම එඩිතර කම බව තහවුරු කරමින් ළමයින්ගේ ඇරයුම නා හිමියන් විසින් පිළිගන්නා ලදී. ළමයින් කණ්ඩායම පහන් සිතින් යුතුව තම නිවෙස් බලා ඇදුනි. නාහිමියන් ගේ හිතට වැටුණේ මොනරගල තරම්ම මහ බරකි. ගලේ පිලිමයක් නෙලන්නට යන වියදම ගැන මොනම විදිහේවත් අදහසක් හාමුදුරුවන්ට නොතිබුණි. එමෙන්ම ඒ ගැන සොයා බලන්නට හෝ ඇස්තමේන්තුවක් කර ගන්නටවත් පන්සල සතුව ආර්ථිකයක් නොතිබුණි. එහෙත් කිසි විටෙකත් ආපස්සට හැරෙන්නට බැරි විදියට අර ළමයින් කණ්ඩායම විසින් නාහිමියන්ව මොනරගලට හේත්තු කරන ලදී. ඒ සමඟම නාහිමියන්‘ගේ යටි හිත කියා සිටියේ මේ ගලේ එහෙම පිළිමයක් ඉදිවුවහොත් එය ලෝක සාමයට, සාමයේ ආදර්ශයට නිමිත්තක් විය නොහැකිද යන්නයි. තලේබාන් අන්තවාදීන්ගේ සැහැසි බවට මෛත‍්‍රියෙන් ද, බිඳහෙලීමට ගොඩනැගීමෙන්ද පිළිතුරු දෙන්නට නාහිමියන් අදිටන් කර ගන්නේ ඉන් අනතුරුව ය.
”ළමයින්ගෙ මේ ඉල්ලීම මොන විදියකින්වත් අහක දමන්න බැහැ. හැබැයි එහෙම වුණත් පිළිම කර්මාන්තයකට යන වියදම සොයා ගන්නත් ලෙහෙසි නැහැ. පිළිමයක් නෙලනව කියන කාරණය හීනයක් විතරමයි කියල මට හිතුන වාර අනන්තයි. ප‍්‍රශ්නය මොනතරම් බරපතල විදියට දැණුනත් ඒ සිහිනය සැබෑවක් කර ගන්න ලැබුණොත් මේ රටේ සාමයට එය හොඳ පිටුබලයක් වෙන්න පුළුවන් කියන අදහසත් මට ආව. ඒ කාලෙ දරුණුම විදියට යුද්ධයත් තිබුණ. යුද්ධය නිම වෙලා මේ රටට සාමය ලැබෙන්න එහෙම පිළිම කර්මාන්තයක් හේතු වෙන්න පුළුවන් කියන හැඟිමක් මට ආව. ඒ විතරක් නෙමෙයි ළමයි මගේ හිතට මේ අදහස ඇතුළු කරන්නෙ තලේබාන් සිද්ධිය මුල් කරගෙන. ඒ නිසා මෙය මේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකයටම සාමයේ පණිවිඩය දිය හැකි කරණයක් ලෙස මගේ හිතට තදින් දැනෙන්න ගත්ත. ඒ සිතුවිලි නිසා පිළිමය කොහොම හරි හදාගන්න ඕන කියන කාරණය මම දැඩි ලෙස හිතට ගත්ත.”
උස අඩි හැටහතහමාරක් වන ලොව විශාලම ශෛලමය සමාධි බුදුරුව ගොඩනැඟීම, ඇරඹෙන්නේ ඒ දැඩි අදිටනේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.
මොනරගල පන්සල් වත්ත පුරා විහිදුන මහ කළු ගල ඇරුණ විට කිසිදු ආදායම් මාර්ගයක් පන්සලට නොතාබුණි. එහෙත් අමරමෝලි නායක හිමියන් මූලික කරුණු දෙකක් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වූහ. පළමු කරුණ පිළිමයක් නෙලන්නට හැකි ශිල්පීන් සොයා යාම ය. අනෙක මේ සඳහා ආධාර අනුග‍්‍රහයන් සොයා යාම ය. පවතින දේශපාලනය කෙරෙහි හාමුදුරුවන්ට තිබුණේ කලකිරිමකි. එහෙත් උන්වහන්සේ මුළින්ම මේ සඳහා ආධාර උපකාර ඉල්ලා සිටියේ දේශපාලනඥයන් වෙතිනි. ඉර පායන්නටත් කලින් රම්බඩගල්ලෙන් පළමු බසයේම, කොළඹ බලා හිස් බඩම පිටත් වෙන හාමුදුරුවන්ගෙන් ‘ඔබ වහන්සේ දානය වැළඳුවාඳ’ කියාවත් නොවිමසා උන්වහන්සේගේ ඉල්ලීම මුළින්ම ප‍්‍රතික්‍ෂේප කරන්නට වූයේ ‘සිංහල බෞද්ධකම’ ගැන ඉහළින්ම කතා කරන දේශපාලනඥයන්ය. කට ඇරියොත් දේශීයකම බෞද්ධකම ගැන පාර්ලිමේන්තුවේද ඉන් පිටතද වචන කඳු ගොඩ ගැසූ එක් දේශපාලනඥයෙක් කීවේ ‘ඔය වාගෙ නිසරු වැඩ වලට නාස්තිකරන්නට මේ රටේ සල්ලි නැහැ’ කියාය. එසේ කීවේ මේ රටේ මහ ජන මුදල් අසීමිත ලෙස නාස්ති කරන ගමන් ය. එවැනි අයගේ අධෛර්මත් කිරීම් හෝ පහරදීම් වලින් පසුබට නොවූ අමරමෝලි හිමියෝ නැවතත් පසුවදා පාන්දර ඇහැරී මේ සඳහා මඟක් පාදා ගන්නා අදහසින් ඊට හැකියාව ඇතැයි සිතන අය වෙත අදුනාහ. එහෙත් හිතූ තරම් හොඳ ප‍්‍රතිචාරයක් නොලැබුණි. විශේෂයෙන් ම බුද්ධමාර්ගයට පටහැනිව ධනයෙන් බලයෙන් මත්ව සිටින, එමෙන්ම මෙවැනි දැවන්ත දෑ තම පන්සලට පමණක් උරුමයැයි සිතන, අතීත උරුමයන් අයිති තම නිකායට හෝ පන්සලට පමණක් යැයි සිතා ක‍්‍රියා කරන සංඝයාවහන්සේ වෙතින් ද දිරිගැන්වීම් වෙනුවට ලැබුණේ ‘කකුලෙන් ඇදීම’ ය. පිළිම කර්මාන්තය සඳහා ඉදිරිපත් වූ ශිල්පීන්ද හැම විටම මුලට ගත්තේ තමන්ට ලැබෙන මුදුල් ප‍්‍රමාණය ගැන මිස නිර්මාණාත්මක කාර්ය ය ගැන නොවේ.
පිළිමය ඉදිකිරීමේ වැදගත්කම ගැන ‘ඇති හැකි අය’ හෝ ‘බලපුළවන්කාරයන්’ වෙත පහදා දීම ඉතාම වෙහෙසකර දෙයක් වූ බව අමරමෝලි හිමියෝ පවසති. පිළිමය නෙලීම සම්බන්ධයෙන් වූ වගකීමෙන් බර වූ හිසට මේ වෙහෙස දරා ගැනීම සුළුපටු නොවිණි. එහෙත් නායක හිමියන් තම අරමුණ හා අධිෂ්ඨනය අත් හැරියේ ද නැත. ඔහොම කාලය ගෙවී යන අතරේ දිනක් ගමේ රියදුරෙක් හාමුදුරුවන් වෙත අපූරු පණිවිඩයක් ගෙනාවේය. දෙමළ ජාතික රියදුරෙක් වූ ඔහු, ‘නුවරඑළියෙ රම්බොඩ හනුමාන් කෝවිලක් හදනව. ඒක හරිම ලස්සනයි. ඔබ වහන්සෙ ඒක හදන ශිල්පියා හමුවුණොත් නරකද?’ යනුවෙන් විමසා සිටියේය. හාමුදුරුවො ඇතැම් විට තම ගමන් බිමන් සඳහා මේ රියදුරා පැදවු වෑන්රථයද යොදා ගත් බැවින් හාමුදුරුවො උන්නදුවෙන් සිටි පිළිම කර්මාන්තය ගැන ඔහු ද දැන සිටියේය. ඔහු හාමුදුරුවන් වෙත එහෙම පණිවිඩයක් ගෙනාවේ ඒ පූර්ව අවබෝධය නිසාය. ඒ පණිවිඩය සුළු කොට හිතන්නට හාමුදුරුවන්ට හිත් දුන්නේ නැත. රිදීගම ‘රම්බොඩගල්ලේ’ කතාව නුවරඑළිය ‘රම්බොඩ’ දක්වා ඈඳෙන්නේ එකී පණිවිඩය සිත් ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.
2002 පෙබරවාරි දෙවැනිදා අමරමෝලි නාහිමියෝ රම්බොඩ වැඩම කළහ. හනුමාන් දේවාලයට ගියහ. ඒ පිළිමය උන්වහන්සේගේ සිත් ගත්තේය. එහෙත් පිළිමය නිමැවූ ශිල්පියා මුණගැසීමේ බලාපොරොත්තුව ඉතිරි විය. ඒ ගැන කල්පනාවෙන් හාමුදුරුවො කෝවිලෙන් එළියට එන විට එක් පුද්ගලයෙක් කෝවිල ඇතුළට පැමිණෙමින් සිටියේය. සුදු අත්කොට කමිසයකින් හා කලිසමකින් සැරසුණු සිරුර කළු පැහැ පුද්ගලයෙක් වූ ඔහු ප‍්‍රසන්න අයෙක් ලෙස තමන් වහන්සේගේ සිතට එක්වනම දැණුන බව අමරමෝලි හිමියෝ පවසති. හිතට ක්‍ෂණයකින් ආ ඒ දැනීමට ඔහේ යන්නට ඉඩහැර හාමුදුරුවො එළියට එන විට තවත් අයෙක් ඉදිරියට ඇවිත් ‘අපේ බොස්ව මුණගැහිලම ආපහු වඩින්න’ යනුවෙන් පැවසීය. ඔහු නමින් අමරදත්ත ය. ‘අමරමෝලි’ හිමියන්ට ‘අමරදත්ත’ නම් ‘පණිවිඩකරු’ මුණගැහෙන අහඹු අවස්ථාව එළඹියේ එලෙසෙිනි. අමරදත්ත අදහස් කළ ‘බොස්’ වෙනත් කවුරුවත් නොව, හාමුදුරුවො කෝවිලෙන් එළියට එන විට තමන්වහන්සේගේ හිතට අමුතු දැනීමක් දී කෝවිලට ඇතුළු වූ ප‍්‍රසන්න පුද්ගලයා ය. ඔහු ලංකාවේ පැරණි ව්‍යාපාරයක් වන ‘ඊශ්වරන් බ‍්‍රදර්ස්’ හි අධිපති දේවනායගම් ඊශ්වරන් මහතා ය. අමරදත්ත යනු ඔහුගේ ලේකම් වරයා වූ අතර හනුමාන් කොවිලේ නිර්මාතෘ වරයා වූයේ මේ ඊශ්වරන් මහතා ය.
”හාමුදුරුවන්ට ඕන වුණේ මම ලංකාවට ගෙන්වපු ශිල්පියා ලවා බුදුපිළිමයක් හදන්න. හාමුදුරුවන්ගෙ අදහසට අනුව ඒක අති විශාල වැඩක්. මේ ශිල්පියත් ඉතාම දක්‍ෂ ලෝකප‍්‍රකට ඉන්දියානු ශිල්පියෙක් නිසා මේ පිළිමෙ හදන්න විශාල මුදලක් වැයවන බව මට තේරුණ. මම හාමුදුරුවන්ගෙන් ඇහැව්ව මේ බරපතල වැඬේට අතගහන්න මුදල් තියෙනවද කියල. උන් වහන්සෙ කිව්ව ඒක කර ගන්න පුළුවන් වෙයි කියල. ඒ උත්තරෙන් ම මට වැටහුණා හාමුදුරුවො ළඟ මුදල් නැහැ කියල. ඒත් හිත හයිය සාදු කෙනෙක් කියලත් මම තේරුම් ගත්ත. ‘සාධු’ කියන වචනෙට ලොකු තේරුමක් තියෙනව. ඒ වටිනාකමට මේ හාමුදුරුවො සුදුසුයි කියල මගේ හිත මට කියන්නට වුණා. ඇත්තම කියනවනම් අමරමෝලි හාමුදරුවො ඒ දුටුව මුල් දවසෙම මගේ හිතට ඇල්ලූව. අනෙක මේ වගේ දැවන්ත නිර්මාණ ලෝකයේ කොතනක ගත්තත් ඒවාට මුල්වෙලා තියෙන්නෙ රජවරු. එහෙම නැතිනම් පාලකයො හෝ ධානපතියො. මෙහෙම දෙයක් යෝජනා කරන සාධු කෙනෙක් මට මුණ ගැහුණෙ පළමු වතාවට. මේ හාමුදුරුවන්ට උදව් කළ යුතුයි කියන සිතුවිල්ල මට තදට දැණුන. මුත්තයියා ස්තපති කියන ශිල්පියා ඒ වන විට හිටියෙ කේරලයෙ. මේ ගැන කතා කරන්න ඔහු හමුවිය යුතු බව මම හාමුදුරුවන්ට කිව්ව. ඒ ගමනට අවශ්‍ය කරන සියලූ දේ මගේ ලේකම් ලවා හදවල මම හාමුදුරුවන් ව ඉන්දියාවට ගෙන්න ගෙන ශිල්පියා මුණ ගැස්සුව. මේ පිළිමයට මගේ සම්මාදම ලබාදීම ආරම්බ කළේ අන්න ඒ විදියට.” යැයි දේවනායගම් ඊශවරන් මහතා පවසයි.
දෙමළ ජාතික ඊශ්වරන් මහතා හින්දු බැතිමතෙකි. අමරමෝලි හිමියන් සඳහන් කරන පරිදි උන්වහන්සේට ඊශ්වරන් මහතා මුණනොගැසෙන්නට මෙහෙම බුදු පිළිමයක් බිහි නොවෙන්නට ඉඩ තිබිණි. වසර දහසකට පසුව ලංකාවේ ඉදිවුණ ලොව විශාලතම ශෙලමය සමාධි පිළිමය ඉදිතරන්නට දෙමළ ජාතික හින්දු බැතිමතෙකු මුල්වීම හරි අපූරු කතාවකි. විශේෂයෙන්ම ‘සිංහල බෞද්ධ අන්තවාදයක්’ සෑම තැනකම දෝරෙ ගලන අද වැනි දවසක මේ සිදුවීම තවත් අපූර්ව කරයි.
පිළිමය ඉදිකරන්නට බාර ගත් ඉන්දියානු ශිල්පියා ද දෙමළ ජාතික හින්දු බැතිමතෙකි. මුත්තයියා ස්තපති නම් ඔහු 2002 මාර්තු 14 දින රම්බඩගල්ලට පැමිණෙයි. ඔහු ගල ළඟට ගිහින් ගල අතගා බලා, එහි නිමවන්නට අදහස් කරන බුදුපිළිමයේ පැති පෙනුම ඔහුගේ අල්ලේ ඇඳ පෙන්වු මොහොතේ මේ වැඬේ සිකුරටම හරියන බව තමන් වහන්සේට දැණුන බව අමරමෝලි හිමියෝ පවසති. එහෙත් එදා සිට වසර පහක් පමණ ගත වෙන තුරු මෙහි වැඩකටයුතු සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට දැරූ අපමණ වෙහෙස ගැන දන්නේ ඊශ්වරන් මහතා හා තමන් වහන්සේ පමණකැයි අමරමෝලි හිමියෝ පවසති. එකම සහනයකට තිබුණේ ස්තපති මහතා තම අතින් වියදම් කරගෙන වරින් වර ලංකාවට ඇවිත් ඔවුගේ ඉන්ජිනේරුවා හා සෙසු ශිල්පීන් කරන කාර්යය අධීෂණය කරන නමුත් ඒ කිසිම අවස්ථාවක ‘මගේ ගාස්තුව මෙපමණයි’ කියා කිසිම විටෙක මුදල් ඉල්ලා නොසිටීමයි. ඇතැම් විට හාමුදුරුවො ඔහු අත තබන මුදල පවා ප‍්‍රතික්‍ෂේප කර යන අවස්ථාද තිබුණු අතර එය බාර ගත් අවස්ථාවන්හිදී තමන්ට කොපමණ ලැබුණාදැයි කියා කිසිම අවස්ථාවක ගණන් බැලූවේ ද නැතැයි අමරමෝලි හියෝ පවසති.
ඉනිදියානු සේවකයින් හත් අට දෙනකුගේ මාසික දීමනාව ගෙවා ගැනීමට නොහැකි වූ විට ඒ ගැන කියන්නට හාමුදුරුවන්ට සිටි එකම පුද්ගලයා ඊශ්වරන් මහතා ය. තම ව්‍යාපාරය වුණත් ඒ වන විට හොඳ තත්ත්වයක නොතිබුණත් මුදල් ණයට ගෙන හාමුදුරුවන්ගේ වුවමනාව ඉෂ්ඨ කළ අවස්ථා ද තිබුණු බව ඊශ්වරන් මහතා පැවසීය. ඔය විදියට දුෂ්කර ගමනක් යන අතරවාරයේ තම දේශපාලන මිතුරන් වූ කරු ජයසූරිය හා එඞ්වඞ් එදිරිසූරිය යන මහත්වරුන් වෙත ඊශ්වරන් මහතා මේ කරගෙන යන දුෂ්කර කාර්යය ගැන දැන්වීය. කරු ජයසූරිය මහතා මේ ගැන එවකට ඉන්දියානු මහකොමසාරිස් වරිය වූ නිරුපමා රාවෝ මහත්මියට දැන්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස එතෙක් මේ පිළිම කර්මාන්තයට ලැබුණු විශාලම ආධාර මුදල ලැබිණි. එය රුපියල් ලක්‍ෂ විසිපහකි. අමරමෝලි හිමියන් පවසන අන්දමට මේ පිළිම කර්මාන්තයට පුදුම හැඟීමකින් දායක වූ අනෙක් දේශපාලනඥයා වූයේ ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතාය. ඔහු ද බෞද්ධයකු නොවේ. පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනිධිපතිනිය ද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ද ජනාධිපති අරමුදලින් මේ සඳහා මුදල් පරිත්‍යාග කළෝය.
මේ පිළිම කර්මාන්තයට සොබා දහමේ රැුකවරණය නිබඳ ලැබෙන සැටි මේ කතාව සාවදානව විමසන විට පෙනී යයි. මෙහි ඇති අනෙක් විශේෂ කරුණ වන්නේ මේ බුදු පිළිමයේ වැඩ නිම වෙන්නටත් පෙර සිටම එය දිකින දකින අයගේ සිත් නිවා පහන් කරන ශාන්තියෙන් පිළිමය පිරී පැවතීමයි. රළු කළු ගල් මෙලෙක් කළ ඉපැරිණි ශිල්පීන්ගේ තේජස ස්තපති ශිල්පියා අපූරුවට මතුකර ගෙන ඇති අයුරු මේ පිළිමය වරක් දුටු ඕනෑම අයෙකුට පසක් වනවා නොවනුමානය.
රම්බොඩගල්ලේ පිළිමකර්මාන්තය සිදුවන ස්ථානයට දිනක් අහම්බෙන් යන, එසේ ගොස් පිළිමය දකින ඞී. එස්. අයි. සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වරයෙකු වන නන්දදාස රාජපක්‍ෂ මහතා, පිළීමය දැක පත් පහන් සිතින් නිහඬව යම් තීන්දුවක් ගත්තේ ය. තම සමාගම සෑම පුරපොහෝ දිනකටම පුවත්පත්හි ඵල කරන විශේෂ දැන්වීම, මේ පිළිමය ගැන රට දැනුවත් කිරීමට වෙන් කිරීම එම තීන්දුවයි.. ‘බුුදු හිමි සිව්වැනි වරටත් වැඩියා වාගේ’යනුවෙන් හැඳින්වුණු එම දැන්වීම් ව්‍යාපාරයත් සමඟ මේ පිළිමය නරඹන්නට එන පිරිසත් ඊට ලැබෙන්නට වූ සම්මාදමත් ඉහළ යන්නට විය. වසර දහසකට පසුව ලංකාවේ යළි පණ ලැබූ දැවන්ත ශෛළමය නිර්මාණකරනය රාජ්‍ය අනුග‍්‍රහයෙන් මහජන අනුග‍්‍රහය වෙතට මාරු වන්නේ එවැනි මැදිහත්වීම් හා දැනුවත් කිරීම් වලින් පසුවය.
දෙමළ ජාතික හින්දු බැතිමතෙකු වී මේ පිළිම කර්මාන්තයට මෙතරම් ළබැඳි වන්නට හේතුව ගැන ඊශ්වරන් මහතාගෙන් විමසූ කල ඔහුගේ පිළිතුර මෙසේ විණි.
”පුරාණ කාලෙ රජවරුනෙ මේ වගේ වැඩ කරන්න මුල් වුණේ. වසර 1000 ට විතර පස්සෙ ඒ වගේ වැඩකට හාමුදුරුනමක් මුල්වීම මට විශේෂයක් වුණා. අනෙක තමයි බුදුහාමුදුරුවන්ට මගේ හදවතේ ලොකු ඉඩක් තියෙනව. ඉනිදියාවේ එක් විශේෂ තැනකදි මම විපස්සනා භාවනාව ප‍්‍රගුණ කළා. ඊට පස්සෙ තමයි මට වැටහුණේ බුදුහාමුදුරුවො මේ ලෝකෙට මොනතරම් වටින දෙයක් ඉතිරි කරල තියල ගිහිල්ල තියෙනවද කියල. අනෙක තමයි අපේ තාත්ත අපට කුඩා කාලෙ ඉඳලම පන්සල හා හාමුදුරුවො හුරු කරල දීල තිබුණ. ’83 කලබලවලදි අපේ ව්‍යාපාර බිංදුවටම වැටුණ. මට මතකයි අපට තිබුණ වාහන 17 න් 14 ක්ම ගිනි තිබ්බ. මම පවුලෙ වැඩිමලා වගේම ඒ කාලෙ තරුණයි. කලකිරීමයි කේන්තියයි ඉවස ගන්න බැරුව මම ගෙදර කාමරේ දොර වහගෙන විසිකි බිබී හිටිය. අපේ ගෙදර තිබුණෙ කොටහේනෙ. ඒ ළඟ පන්සලේ හාමුදුරුවො තාත්තත් එක්ක හරි එකතුයි. මම අර විදියට ඉන්න බව දැන ගෙන දවසක් කාමරේටම ආව හාමුදුරුවො මට ලොකු කතාවක් කිව්ව, ජීවිතේ අභියෝග වලට මුහුණ දෙන විදිය ගැන. එතනින් නැගටපු ගමන තාමත් නැගිටල ඉන්නව. අනෙක අපේ තාත්ත ඒ තරම් විනාශයක් වෙලත් ‘ලැබෙන දේ ඉවසන්න ඕන’ කියල නිහඬව හිටිය. අර තරම් අරියාදුවක් වෙලත් එයා අපේ කඬේට යන ගමන් උදේට වඳින බෝධියට වඳින එක නතර කළේ නැහැ. පස්සෙ තමයි මට වැටහුණේ ඒක තාත්තගෙ චරිතයට අයත් ලොකු තේජසක් බව. ඔය වාගෙ පසුබිමක් මගේ ජීවිතයට කුඩා කාලෙ ඉඳලම බලපානව. ඒ නිසා වෙන්න ඇති මම මේ පිළිමය හදන වැඬේට කැමති වෙන්න ඇත්තෙ. අනෙක මේ වගේ වැඩ ආගම හෝ ජාතිය කියා වෙන් කරන්න හොඳ නැහැ. මෙයින් ලැබෙන සහනය ශාන්තිය මනුෂ්‍යයින් වන අප කාටත් පොදුයි.”
අනුරාධපුර යුගයේ ඉදිකෙරුණු ශෛලමය නිර්මාණයක් වූ ලෝවාමහපාය, දෙව්ලොව හිරුණි දෙව්දුවගේ මාලිගයේ සැලස්ම අනුව ඉදිවූවක් බව බෞද්ධ සාහිත්‍යයේ එන කතාවකින් කියවෙයි. එස්. ඞී. ද ලැනරෝල් නම් ලේඛකයා මේ ගැන පහදමින් පවසන්නේ පුරාණ පර්ෂියාව හැඳින්වූයේ දෙව් ලොව නමින් බවත් බෞද්ධ සාහිත්‍යායේ එන මේ කතාවෙන් පැහැදිළි වන්නේ ලංකාවේ ගලින් නිමැවුණ ප‍්‍රතිමා කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය පර්ෂියාවෙන් මෙරටට ලැබුණු දායාද බවත් ය. ඒ කෙසේ වෙතත් වසර දහසකට පසුව රම්බොඩගල්ලේ ඉදිකෙරෙන මේ ශෛලමය නිර්මාණය සඳහා ශිල්පීය දායකත්වය ලැබෙන්නේ දකුනු ඉන්දියාවේ කේරලයෙනි. පද්ම ශී‍්‍ර එම්. මුත්තයියා ස්තපති නම් එම ප‍්‍රධාන ශිල්පියා ද මුණගැසී මේ ගැන තොරතුරු විමසීමුු.
”මම මේ ප‍්‍රතිමා කලාව කරන්නෙ පරම්පරාවෙන් ලද ශිල්පීය දායාදයක් විදියට. ආයතනික වශයෙන් යම් යම් පුහුණුවීම් හා ඉගෙනීම් කළත් මට මේ පිිළිබඳව හොඳ අත්ගුණයක් කුඩා කාලෙ ඉඳලම තිබුණ. මම ක‍්‍රිෂ්ණ දෙවියන්ගෙ, හනුමන් දෙවියන්ගෙ විශාල පිළිම වැඩ කරල තියෙනව. කුඩා ප‍්‍රමාණයෙන් සමාධි බුදුරුව, සාරනාත් බුදුරුව නිර්මාණය කරල තියෙනව. මම මේ තරම් විශාල බුදු පිළිමයකට, හරියටම කියනවනම් දැනට ලොව විශාලතම ශෛලමය සමාධි පිළිමය නිර්මාණය කරන්නෙ ජීවිතේ පළමු වතාවට. දැන් මගේ වයස හැත්තෑවයි. එයින් දන්න කාලෙ ඉඳලම මම මේ ක්‍ෂේත‍්‍රයේ ඉන්නව. මම කියන්න ඕනෙ මේ ගල මගේ ජීවිතේට ලැබුණු හොඳම වර්ගයේ ගලක්. අනෙක ශිල්පියෙකුට මේ වගේ වැඩක් කරන්න ඉඩ ලැබෙන්නෙ වසර දහකට පමණ වරක්. ලංකාවෙ බුදු පිළිමයක් නෙලන්න, ඒ දුර්ලභ අව්සථාව මට හිමි වීම ගැන මට ලැබුණු විශාල භාග්‍යයක් කියලයි මම හිතන්නෙ.”
ඒ හෘදයාංගම කතාවේ හොඳම හරිය ඔහුගේ මුහුණේ හා දෑසේ ලියවී තිබුණි.

(ස්තපති මහතා පරිත්‍යාගශීලීව මේ පිළිම කර්මාන්තයේ නියැලෙන බව දැන ගත් මෙම ලිපියට පින්තූර සපයා දුන් ප‍්‍රවීන ඡුායාරූප ශිල්පී ලක්‍ෂමන් නඩරාජා මහතා, තම ගුරුවරයා වන නිහාල් ප‍්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් ‘ස්ටූඩියෝ ටයිම්ස්’ වෙතින් සම්පාදනය කෙරුණු ”ඔයැ ීඑදබැ” නැමති ඡුායාරූප ග‍්‍රන්ථය එම ශිල්පියා වෙත පරිත්‍යාග කළේය. ලංකාවේ පුරාණ ශෛලමය නිර්මාණ දැක්වෙන ඡුායාරූප රැුසක් එම ග‍්‍රන්ථයට ඇතුළත් ය.*

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>